Posted by: isurubmv | December 16, 2009

දෙවොල් මඩු ශාන්ති කර්මය

පහත රට නැටුම් සම්ප්‍රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.

ඒ මෙසේය,

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.

දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.

මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.

මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්‍රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.

මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය.

දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.

පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.

උත්පත්ති කථාව

‘ ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා ක‍ෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල ති‍බෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.

පුරාවෘත්තානුකූලව පැවැත්වූ ශාන්තිකර්මය, සත් දා ගී මඩුවක් ලෙස පැවැත්වූ අතර ගැමියන්ගේ කාලීන අවශ්‍යතා වන භවභෝග සම්පත් ආරක‍ෂා කර ගැනීමත්, රෝග වසංගතවලින් ආරක‍ෂාවීමත් හේතු කොටගෙන ගමක් මුල් කොට යාතුකර්මය පැවැත්වීම ආරම්භ වූ බව ඇදුරෝ පවසති. සේරමානම් රාජ කතා පුවත අනුව රෝග නිවාරණ ශාන්තිකර්මයක් වූ සත් දා ගී මඩුව, තවත් යාගාංග ඒකරාශී කරමින්, සශ්‍රීකත්ව අරමුණ ද එක් කරමින් ’ගම්මඩුව නම්න් සාමූහික ශාන්තිකර්මයක් ලෙස පැවැත්වීම ආරම්භ වුණි.

ගම්මඩුව වූ කලී කිසියම් අධිභෞතික දේව ගණයාගෙන් එදිනෙදා ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට තමන්ට පුළුවන් යැයි ගැමි ජනතාව තුළ තිබූ විශ්වාසයට අනුව සිදුවන්නකි. ’මඩු පුරය යයි ගම්මඩු උත්සවයේදී භාවිත වන පාඨය විමසා බලන විට එම කාරණය තවදුරටත් පැහැදිලි වේ. ‘මඩුව’ වූ කලී මණ්ඩපයකි. නැතහොත් දෙවියන්ගේ බල ප්‍රදේශයයි. ‘පුරය’ වූ කලී වාසය කරන නගරය යන අරුතින් දෙවියන්ගේ නුවර සේ සැලකිය හැකිය. ඒ අනුව ගම්මඩුව භූමිය මඩු පුරයක් හෙවත් දෙවියන්ගේ බලය පවත්නා නගරයකි. ඔබේසේකර දක්වන ආකාරයට ගම්මඩුව වූ කලී දෙවියන්ට පුද පූජා දැක්වීමට ගම සූදානම් කිරීමකි. මඩුව යන භෞතික සැකැස්ම වන අතර ඉන් පිටත දෙවියන්ට ස්තුති කිරීමට හා නැරඹීමට මිනිස්සු රොක් වී සිටිති (ඔබේසේකර 1984 : 50). එමෙන්ම ගම්මඩුව රංග මණ්ඩලයක් ලෙස ද සැලකිය හැකි බව ඔහු දක්වා සිටියි (එම : 51). රඟ මඩලෙහි දෙවියෝ නොපෙනෙන සේ වැඩහිඳිති. මන්ද යාතුකර්ම ඇදුරෝ දෙවියන්ට දිව්‍ය ලෝකයේ සිට රඟ මඩලට වඩින සේ ආරාධනා කරන බැවිනි. දෙවියෝ අදෘශ්‍යමානව වැඩ හිඳින බැවින් යාතුකර්ම ඇදුරෝ, යාතුකර්මය නරඹන ප්‍රේක‍්ෂක ආතුරයන්ට දෙවියන් දෘශ්‍යමාන කිරීමට දෙවියන් මෙන් සමාරෝපණ වෙති. උදාහරණ ලෙස පත්තිනි දෙවියන්, වාහල දෙවියන් ලෙස ඇදුරෝ සමාරෝපණය වී නර්තන ඉදිරිපත් කරති.

යාතුකර්ම ඇදුරෝ දක්වන ආකාරයට ප්‍රථම ගම්මඩුව ශ්‍රී ලංකාවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පවත්වා ඇත. එතැනින් ආරම්භ වූ ශාන්තිකර්ම සම්ප්‍රදාය සඳහා නර්තන, පද, කවි ගායනා එක් වී ඇඳුම් පැළඳුම් විචිත්‍ර වී මූලාකෘතිය සිහිගන්වමින් අද වන තුරු ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ගම්මඩුව ශාන්තිකර්මය පවත්වනු ලබයි

පූජා විධි රටාව

ගම්මඩුව ශාන්තිකර්මය සාමාන්‍යයෙන් පවත්වන්නේ සෙනසුරාදා දිනයක දී ය. කෙම්මුර දිනයක් වන බැවින් ද, මිනිසුන්ට විවේකී දිනයක් වන බැවින් ද එය යොදා ගන්නා බව යාතුකර්ම ඇදුරෝ පවසති. ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර සිදුකරන අංග රැසක් වේ. සුභාසිරි පතා කරන සෑම කාර්යයකටම සිංහල චාරිත්‍රය අනුව කප් සිටුවීම සිදු කරන බැවින් ශාන්තිකර්මයට මාස 3 කට පෙර කප් සිටුවීම සිදුකරයි. මෙසේ එම කාලය ගත වී යාමට පෙර ශාන්තිකර්මය පවත්වන බවයි. මෙහිදී 7 රියන් කිරි ගහක් තෝරාගෙන, එහි යට සිට උඩට ගොක් කොළ බැඳ, මැද පෙදෙසට පුවක් හා පොල් මලක් ද, ලෙලි සහිත පොල් ගෙඩි 2 ක් ද බැඳ, මුදුනත කළයක් මුනින් නමා, බුලත් 7 ක් හා පඬුරු 7 ක් කණුවේ පහත තබා, කණුව සිටුවා එහි පඬුරක් ගැට ගැසීමෙන් භාරවීමක් සිදුකරනු ලබයි. කප් සිටුවීමෙන් ඇරඹෙන ශාන්තිකර්මය නවද ගිරි, හත්දා ගිරි, පස්දා ගිරි, තුන්දා ගිරි යනුවෙන් එය පවත්වන දින ගණන අනුව නම් කරයි. නවදා ගිරි දින 9 ක් ද, හත්දා ගිරි දින 7 ක් ද, පස්දා ගිරි දින 5 ක් ද, තුන්දා ගිරි මඩුව දින 3 ක් ද පැවැත්වෙන බව ගම්මඩු යාග ඉතිහාසයේ සඳහන් වේ.

‘රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි

බමුණු කුලට මිණි තොරණින් සත් දවසක් යාග කළයි

වෙළඳ කුලට පිළි තොරණින් පස් දවසක් යාග කළයි

ගොවි කුලට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි’

මේ අනුව ගොවි කුලයට තුන් දවසක් යාග පවත්වා ඇත. ඒ අර්ථයෙන්ම අදත් ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර දිනයේ දී මඩු පේ කිරීම සිදු කරනු ලබයි. එහිදී ශාන්තිකර්මය පවත්වන ස්ථානයට දේවාභරණ වඩමවා, රඟමඩල ශාන්තිකර්මය පැවැත්වීමට සූදානම් කරනු ලබයි. නමුත් ශාන්තිකර්මය පවත්වන ස්ථානයට ආසන්නයේ දේවාලය පිහිටා ඇත්නම් මඩු පේ වන අවස්ථාවේ දේවාභරණ වැඩම කරවීම සිදු නොකරයි. කපු මහතා සහ සහායකයකු පිරුවට හා සුදු පිරුවට හා සුදු බැනියමක් ඇඳ, ඛෙර වාදන ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ ශාන්තිකර්මය පවත්වන ස්ථානයේ කහ දියර ඉස, සුවඳ දුම් අල්ලා දේව ගණයනට ආරාධනා කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කරනු ලබයි. රාත්‍රී පහන් දල්වා, සක් පිඹ, දෙවියන්ට කවි ගායනා කර, ආතුරයන්ට දේවාශිර්වාද කර මධ්‍යම රාත්‍රියේදී පමණ එදින කටයුතු නිම කරයි.

මිල්ල කැපීම

ප්‍රධාන යාතුකර්මය පැවැත්වීමට පෙර, ශාන්තිකර්මය පැවැත්වෙන දින සවස 4 ට පමණ, පසුදා උදෑසන පැවැත්වෙන ගිනි පෑගීමේ අවස්ථාව සඳහා අවශ්‍ය දර එකතු කිරීම සිදු කරනු ලබයි. සුදු පිරුවට හැඳ, සුදු බැනියමක් ඇඳ කපුරාළ සැරසෙන අතර, රඟමඩලෙන් (ගම්මඩු භූමියෙන්) පිටස්තර කැළයකට ගොස් මිල්ල ගසක් සොයා ඒ වටා ගොක් රැහැන් ඇද, වෙන් කර එහි වාසය කරන රුක් දෙවියන්ට වෙනත් ගසකට මාරු වන ලෙස කන්නලව් කර, ගස වටා කහ දියර කොතලය, අඟුරු දුම්මල කබල නටා මිල්ල ගසේ අත්තක් කපා ගනියි. ඒ සඳහා යාග ඇදුරන් කැත්තක් රැගෙන එන අතර, බෙරවාදන, සක් පිඹීමෙන් අනතුරුව උඩු වියන් ඇති පෙරහරින් මිල්ල ගසෙහි දැව පිරුවටයක ඔතා රංග භූමියට රැගෙන එයි. මිල්ල කැපීමට යන විට ගායනා කරන කවියක් මෙසේ වෙයි.

‘කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ

මැලේ සදා වට වියන් බඳින්නේ

රැළේ පුළුල් ලෙස දුම විහිදෙන්නේ

මැලේ මහිම බල දෙවොල් යකුන්නේ’

පසුව කපාගෙන ආ දැව දෙවොල් දෙවියන්ගේ මල් අස්නයෙහි තැන්පත් කරන අතර, පසුදා උදේ පැවැත්වෙන දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩ බැසීමේ අවස්ථාව නිරූපණය කරන විට, දෙවොල් දෙවියන් මෙතෙරට ගොඩ බැසීම බාධා කළ පත්තිනි දෙවඟන මැවූ ගිනි කඳු සත පාගා සිසිල් කළ පුවත දැක්වීමට ප්‍රයෝජනයට ගනී. මිල්ල කැපීමෙන් අනතුරුව පහන් පූජාව සිදු කරයි.

පහන් පූජාව

මෙම අංගය රාත්‍රී 9.00 ට පමණ ආරම්භ වන අතර කපුරාළ හා සහායකයින් 4-5 සමඟ බුදුන්, දහම්, සඟුන්ගෙන් අවසර ගෙන දෙවියන්ට මල් යහන්වලට ආරාධනා කරයි.

‘රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා කර වතා

ලක‍ෂ කෙළි පුද භාර ගන්නට වරම් ලැබ පූරුවෙ පතා

තොස්ව නීලය වරුණ පාමින් ගරුඬ වාහනයෙන් යතා

අස්නයට වැඩ විශ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා වෙතා’

මෙලෙස විශ්ණු, නාථ, කතරගම, පත්තිනි යන සතර දෙවිවරුන්ට යහන්වලට ආරාධනා කරන අතර, සමන්, දැඩිමුණ්ඩ, ගම්භාර ආදී දෙවිවරුන්ට ද ආරාධනා කරනු ලබයි . එසේ ආරාධනා කරන දෙවිවරුන්ට පහන් පූජා කිරීම මෙම අංගයේ දී සිදුකරනු ලබයි.

දළු මුර පූජාව

දළු මුර යනු බුලත් ය. මෙහිදී දෙවියන් වෙනුවෙන් දළුමුර ද, පඬුරු හා මල් පූජා කිරිමත් සිදුකරනු ලබයි. ඔබේසේකර (1984) ට අනුව සිංහල සංස්කෘතිය තුළ බුලත්වලට වැදගත්කමක් හිමිවෙයි. එහිදී කෙනෙකුට ආරාධනා කිරීමට, උදාහරණයක් ලෙස විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට බුලත් හුරුළු දෙන අතර ගම්මඩුවේ දෙවියන්ට ආරාධනා කිරීම සඳහා ද බුලත් භාවිත කරයි (ඔබේසේකර 1984: 76). පුද වට්ටියට බුලත්, පුවක් කිනිති, කපුරු, මල්, හඳුන්කූරු, පිණි දිය, පඬුරු ආදිය අඩංගු වන අතර එක් එක් දෙවිවරුන්ගේ මල්යහන්වලට ඒවා පූජා කර ආරාධනා කිරීමක් කරන අතර, මල් යහන් ඉදිරිපිට කුඩා පද කොට්ඨාස සහිත නර්තන ඉදිරිපත් කරන්නේ කවි ගායනාවලට ප්‍රධාන තැන ලබා දෙන බැවිනි.

යහන් දැක්ම (යහන් දැකීම

යහන යනු අසුනයි. දේව විමානයයි. එම යහන්වලට දෙවියන් වැඩම කරවා, අරක් ගැන්වෙන්නේ මේ මොහොතේ දී ය. රඟමඩලට බිසෝ කප රැගෙන ආසනයක තබා, යහන් දැක්ම නටනු ලබයි. වර්තමානයේ නවක ශිල්පීන් කරළියට රැගෙන එන්නේ මෙම අවස්ථාවේ දී ය. ඔවුන්ගේ දක‍්ෂතා පෙන්වීමටත්, තෑගි ලැබීමටත් යහන් දැක්ම අවස්ථාවක් කොට ගනියි.

බිසෝ කප සිටුවීම

බිසෝ කප යනු සේරමානම් රජුගේ බිසව නාගී විසින් රජුගේ හිසෙහි හටගත් රෝගය සුවවීම පතා, පත්තිනි දෙවියන්ගේ නාමයට සිටුවන ලද කණුවකි. සඳුන් ලීයෙන් කරවන ලද කැටයම් සහිත කණුවක් එදා සිටුවන ලද අතර එය සිහිකරනු වස් අදත් බිසෝ කප (පත්තිනි තොරණ) අසළ එය සිටුවනු ලබයි.

‘රියන් එවියත් අගුල් පත් බිඳ සඳුන් කඳ අට පැති පැසා

බිසෝකප

මුදුන් කොත සත් මාලයක් කර කනෙක වරනින් තිබු ලෙසා

මුදුන් අතුරක් සේම අට පැති ලතා කැටයම් එක ලෙසා

සඳුන් හැර මේ ලෙසින් සරසන සිටුවන්න නැකතක් අසා’

මෙසේ එදා සේරමානම් රජු බිසව විසින් සිටුවන ලද කපෙහි ප්‍රමාණය හා විචිත්‍රවත් බව කවිවලින් විස්තර කරන අතර වර්තමානයේ ද කෙසෙල් කඳක් ගෙන එය ගොක් කොළ කැටයමින් සරසා, පුවක් මලක්, පොල් මලක් ගසා මුදුනට විලක්කුවක් ගසා පත්තිනි දෙවියන්ගේ තොරණ ළඟ සිටුවයි. එනම් අතීතයේ එසේ කළ නිසා, වර්තමානයේ දී එසේම කළ යුතුය යන්නක් ඉන් හැඟවෙන අතර, අතීතය වර්තමානය තුළ ප්‍රතිනිෂ්පාදනය කිරීමක් සිදුකරයි . කපු මහතා බිසෝ කප සිටුවීමට පෙර ඊට අදාළ යාදිනී කියන අතර කෙටි කතාවක් මගින් එහි පුරාවෘත්තය ප්‍රේක‍්ෂක ආතුරයන්ට සමීප කරයි. මෙම කවි හා යාදිනිවලින් ගම්මඩු ශාන්තිකර්මයේ උත්පත්තිකතාව හෙවත් මඩු උපත විස්තර කෙරේ.

කාලපන්දම් සිටුවීම

කාලපන්දම් පූජාව මගින් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවීම සඳහා පිහිට පැතීමක් සිදුකරයි. පුවක් ගසක් කපා එහි නියමිත දිග ගෙන (රියන් 11) මුදුනේ කාල පන්දම සිටුවනු ලැබේ. ගොක් කොළවලින් මුදුන සරසා, සතර දිශාවට ගොක්පතින් කං වැල් සතරක් ඇද තිබේ. ඉන් අරමුණු වන්නේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර යන සිව් දිශාවටම ආරක‍ෂාව සැලසීමය. මෙසේ කාල පන්දම් ගසක් පූජා කිරීමෙන් දෝෂ දුරු කරන බව විශ්වාස කරන අතර, ගම්මඩුව ශාන්තිකර්මයේ මුඛ්‍යාර්තය තවදුරටත් ජනිත කිරීමට මෙම යාගය සමත් වෙයි. කෙසේ වෙතත් මෙම පුරාවෘත්ත පිළිබඳව පොදු එකඟතාවයක් නොමැති අතර ඉන් එක් පුරාවෘත්තයක් නම් කතරගම දෙවියන්ට අදාළ පුරාවෘත්තයයි. එනම් දුටුගැමුණු රජු එදා අනුරාධපුර සටනට පිවිසීමට පෙර කතරගම දෙවියන්ගේ නාමයට කාලපන්දම් පූජාවක් කර ආරක‍ෂාව පැතූ බවත්, යුද්ධයෙන් ජයග්‍රහණ කළහොත් තම රටවැසියන්ට පෙනෙන අයුරින්, කාල පන්දම් ගසක් සිටුවන බවටත් පොරොන්දු විය. එම පොරොන්දු වූ අයුරින්, කාලපන්දම් පූජාව අදත් දෙවොල් මඩුවේදී සිදුකරනු ලබන බව එම පුරාවෘත්තයේ කියැවේ. දුටුගැමුණු රජුගේ යුද්ධයට දමිළ වැසියන්ගෙන් උපකාර ඉල්ලා සිටි නමුත්, ඔවුන් මුලදී එය ලබාදීමට අකමැති වූයෙන්, ඊට කතරගම දෙවියන්ගෙන් සමාව ගනු වස්, බිම පෙරළි පෙරළී යාමත්, කටු ගසා එල්ලීමත්, උල් ඇ‍‍ඟේගසා ගැනීමත් සිදු කරන බව ඇදුරෝ දක්වති.

කෙසේ නමුත් කාලපන්දම් පූජාවට අයත් තවත් පුරාවෘත්තයක් වෙයි. එනම් දෙවොල් දෙවියන් ප්‍රමුඛ සත් කට්ටුව (කුරුම්බර යැයි ද කියති) ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බවයි. දඹදිව කුඩුප්පුරි නුවර ශ්‍රී රාමසිංහ රජුගේ දරුවන් වූ මොවුන්, වෙළඳාම සඳහා පැමිණෙන අතරතුරේ නැව මුහුදේදී කුණාටුවකට හසුව, ලක්දිවට ගොඩබැසීමට සැරසෙන කල්හි, සිරිලකට ඔවුන්ගේ පැමිණීම අනර්ථක යැයි සිතූ පත්තිනි දෙවඟන ගිනි කඳු 7 ක් මැවූ නමුත් දෙවොල් දෙවි ඒ මැඩගෙන, ස්වදේශීකයන්ගේ රෝගාතුර වීම් නැතිකිරීමේ වරම් උඩ, විශ්ණු දෙවියන්ට තම නැවේ කුඹ ගස මුදුනේ නීල රත්න මැණික තබා පූජා කර, වරම් ලැබ සීනිගමට ගොඩබැස්ස බව කියවේ.

‘මෙලක් දිව සැම තැනට

රජ කරන දෙවි නමට

කාලපන්දමක් කොට

පන්දම් නැටීම

පින් දෙන්න නියම කොට

ඔප්පු දුනි එදා සිට

අපට වන් මේ දුකට

පිහිටවන් ඔබ විසින්

නීල රත්න මැණික ගෙන

කුඹ මුදුන තබවමින්

මෙපුද දෙවියන් නමට

දෙවා පින් දී සතුට

පතිනි දෙවි රකින්නට

දෙවොල් කුමරිඳුන් හට

සීනිගම් දේවාලයට

ගොඩ බසින්නට ලොබා…….’

(කාලපන්දම් යාදින්නේ කොටසකි).

ඔබේසේකරට අනුව කාල පන්දම යනු, කාලය දනවන්නක් බවත්, අතීත, වර්තමාන, අනාගත කාලවලදී ආතුර පවුලට හෝ ගමට කිසිම හානියක් සිදු නොවීමට මෙය සිටුවන බවත් දක්වයි. අතීතය විශ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත්, අනාගතය දේවතා බණ්ඩාරටත් හිමිවන බැවින් ඔවුන්ගෙන් කිසිම අකල් දෝෂයක් නොවන්නට කාලපන්දම් ගස සිටුවයි (ඔබේසේකර 1984: 113). කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය මෙම අවස්ථාවට සම්බන්ධ වන්නට ඇත්තේ ඔබේසේකර දක්වන ආකාරයට කතරගම දේව වන්දනාව එම සමය වන විට කේන්ද්‍රීය වැදගත්කමක් (1984: 113) ගත් නිසා වන්නට ඇත. විශ්ණු දෙවියන් කාරුණික දෙවියකු වන බැවින්, දේව ධුරාවලියේ ඉහළ සිටියත් ඔහුව අතීතයට ඇද දමා ඇත. නමුත් කතරගම දෙවියන් එම සමයේ ජනප්‍රිය මට්ටමේ සිටින බැවින් ද, පිහිට පැතීමට හා වර්තමාන ගැටලූවලට විසඳුම් දෙන බැවින් ද, වර්තමානය තුළ ස්ථාපිත කර ඇත (ඔබේසේකර 1984: 113). එහෙයින් කතරගම දෙවියන්ට සම්බන්ධ පුරාවෘත්තය මෙම අවස්ථාවට පැමිණියත්, කාල පන්දම් යාදින්නට අනුව විශ්ණු දෙවියන්ගේ නාමයට දෙවොල් දෙවියන් විසින් කාලපන්දම් පුජා කළ බව පැහැදිලිය.

කෙසේ වෙතත් කාලපන්දම් පූජාව මගින් ද රෝග නිවාරණය වැදගත් කොට සලකන බව පැහැදිලි වෙයි.

‘උණ ඉසරද ලෙඩ තද ඔක්කාර ද

ඇඟ ඇඹරුන් ලෙඩ රදේ රුදාව ද

තැන තැන ඇවිදින පිස්සු විකාර ද

ගඟ වැඩි සෑ දිය සේම නිවන් අද’

(කාලපන්දම් කවි)

පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම)

පිදේනි දීම, පෙරයම, මධ්‍යම, අලූයම යන තුන් යාමයට කළ යුතු වන අතර පෙර යම හෙවත් හැන්දෑ සමයමේදී ආතුර හිසෙහි පිදේනි මුට්ටිය තබා සුදු කුරුම්බර හා මහසොහොන් යකුට ආරාධනා කර, මඩුවෙන් පිටත වන යකුන් සඳහා වන තටුවලට තබයි. දේව මණ්ඩලය ප්‍රධාන වන ස්ථානයකට යකුන් ඇතුළත් කර තිබීම මගින් පෙනී යන්නේ යක‍ෂ – දේව යන ගණ දෙකටම අයත් හැටියට ගැමියන් විශ්වාසය අනුව වර්ග කෙරෙන සූනියම් වැනි යකුන් ඇදහීම හේතු කොට ගෙන මෙම පූජාව බිහි වූ බවයි (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1996: 12).

හැන්දෑ සමයමේදී රතු, සුදු, කළු, කහ මිශ්‍ර විචිත්‍රවත් ඇඳුමකින් සැරසෙන නර්තකයන් හිසට කිරුළ තොප්පියක් පළඳිති. පන්දම් දෙකක් සහිතව නර්තනයේ යෙදෙන ඔවුහු, මඩුව වටා දුම්මල ගසමින් භයානක රසයක් ආතුර ප්‍රේක‍ෂකයන් තුළ ජනිත කරවන අතර දුම්මල ඇල්ලීමට සහයෝගයට සිටින කොට්ටෝරු මහතාව (මඩු පුරයා / අතොරකරුවා) මඩුව පුරා දුවවමින්ප්‍රේක‍්ෂක ආතුරයන්ව හාස්‍යය රසයෙන් ප්‍රබෝධමත් කරති. ඉන්පසුව බෙර වාදන ශිල්පියා හා නර්තකයන් අතර වන සංවාදයේ දී ‘නැන්දගේ සමය මේ ආවා’ ලෙස දක්වන අතර පන්දම් පද ආදිය නැටීමෙන් පසුව මඩුවෙන් පිට පිදේනි තටුවලට පිදේනි දෙති.

තොරණ් යාගය

ලංකාවේ ගජබා රාජ සමයෙහි සොලී රට සේරමානම් රජුගේ සිරසේ හටගත් දොස් දුරු කිරීමට සිරිලකට සැපත් වූයේ පත්තිනි වන්දනාව මෙන්ම බුද්ධාගම ද ස්ථාපිත රාජ්‍යයක් වූ බැවිනි. දකුණු ලක රුවන්වැල්ලේ දී පැවැත්වූ මෙම ප්‍රථම දෙවොල් මඩුවේදී ගී, කවි ආදිය දෙමළ බසින් යුක්ත වූ නමුත්, පත්තිනි කෝල්මුර ගායනා පසු කාලයකදී හෙළ බසට නැඟුණ බව ද එතැන් සිට මෙම යාග ක්‍රමය දක‍ෂිණ ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බව ද පුරාවෘත්ත කථනයෙන් හෙළි වේ. මෙසේ ආරම්භ වූ ගම්මඩුව ශාන්තිකර්මයෙන් රංග මණ්ඩලය සරසන ප්‍රධාන සැරසිල්ල වන්නේ පත්තිනි තොරණය. මෙය නම් පත්තිනි දෙවියන්ගේ පූජාසනයයි. මකර තොරණ ලෙස ද හැඳින්වෙන මෙය රඹ පතුරු, හබරල කොළ, ගොක් කොළ කැටයමින් සරසන අතර උසින් හත් රියන් වේ. මෙහි විවිධ සතුන්ගේ රූප හා කැටයමින් ද, ලියවැල් ආදියෙන් ද සමන්විත වේ.

ප්‍රථම කොට යාග ඇදුරන් රඟ මඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට, තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු දැකිය හැකිය. එම ශ්ලෝකයන්ට සන්න ද ගායනා කෙරේ. ඒවා සංස්කෘත හෝ පාලි යන භාෂාවන්ගෙන් ලියවී ඇති අතර සාමාන්‍ය ජනයාට තේරුම් ගත නොහැකි ආකාරයෙන් ද ගායනා කරති. එමෙන්ම ඒවායේ සිංහල භාෂාව ඉතාම උසස් තත්ත්වයෙන් පවතින අතර සූක‍ෂමව එය අසා සිටින්නෙකුට අමතරව ඒවා වැටහෙන්නේ නැත.

මෙසේ ශ්ලෝක සන්න ද දක්වමින් තොරණ් යාගයේ කවි ද ගායනා කරයි. නමුත් ඒවා ආරම්භ වන්නේ බුදු ගුණ ගායනා කරමින් ය. එම එක් එක් පදයේ අර්ථයෙන් විස්තරාත්මකව සන්නයක් සේ ගායනා කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලි තොවිල් පිළිබඳව කළ අධ්‍යයනයේදී ප්‍රේම කුමාර ද සිල්වා දක්වන්නේ සිංහල ජන වහරේ ගොතන ලද කතාවන්ට නිර්ව්‍යාජත්වය හා යුක්ති සහගත බවක් බෞද්ධ සම්ප්‍රදායට ඈඳා ගනිමින් සිදු කරන බවයි (2000: 34-8). මන්ද තම ප්‍රධාන ආගම ලෙස බුද්ධාගම පිළිගන්නා මිනිස්සු, ඉන් නොලැඛෙන යාතුකර්මීය හා මානසික සහනය සොයා ගනු වස් අවශේෂ යාතුකර්මවලට යොමු වුවද, තමා බෞද්ධ වීමේ සවිඥානකත්වයෙන් මිදීමට නොහැකි වීම ද මීට හේතු පාදක වේ.

පත්තිනි තොරණ

පත්තිනි නැටීම

පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර ‘වසංගතය ඇර යමි තොරණ දක්වනු’ ලෙස කවි ගායනා වෙයි.

ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් ‘ආවඩා, ආයුබෝවේවා!’ ලෙස ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.

‘නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්

කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්

එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්

එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්’

මෙවැනි කවි විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්‍ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් ‘කපු පත්තිනි’ තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.

ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.

තෙල්මේ නැටීම

‘තෙල් මෙහෙය’ සිදු කිරීමට කරන නැටුම් පූජාවක් වන බැවින් තෙල්මේ නමින් මෙම නැටුම් අංගය හඳුන්වනු ලැබේ. නොඉඳුල්ව පිසගත් තෙල්වලින් දොළහ දෙවියන්ට පහන් දල්වා මෙම යාගය සිදුකරනු ලබයි. දොළහ දෙවියන් යනු පත්තිනි දෙවියන් සමඟ පුද ලබන දෙවිවරු දොළොස් දෙනෙකි. ‘තෙල්මේ තටුව’ නමින් යුත් පූජාසනය මඩු භූමියට ගෙනවිත් දෙවිවරුන්ට පූජා කර තෙල්මේ නැටුම ආරම්භ කරයි. සේරමානම් රජු (චෝල) ලක්දිවට විත් පැවැත්වූ ප්‍රථම මඩු මංගල්‍යයේ දී චෝල රාජ කුමාරවරු 12 දෙනෙකු මෙම තෙල්මේ නැටුමට සහභාගී වූ බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. එම කුමාරවරු නමින් තෙල්මේ, සාතා, සළඹා, ඇලිකොත් රජ, යුවරජ, යා රජ, වීරමුණ්ඩ, දළ රජ, පඬි රජ, බල රජ, කලි රජ සහ දුලබා වෙති. මෙම නර්තනය සඳහා තෙල්මේ ඇඳුම නමින් විචිත්‍රවත් ඇඳුමක් (කුමාරවරුන්ගේ මෙන්) භාවිත කරන අතර විල්ලූද රෙදි මත පබළු, කනඳු, සීක්වින්ස්, රේන්ද ආදිය අල්ලා විචිත්‍රවත් කර ඇත. මෙම නර්තනය සඳහා පැය දෙකක පමණ කාලයක් ලබාගන්නා නමුත් වර්තමානයේ දී පිනුම් ගැසීමේ කාල පරිච්ඡේදයන් වෙන්කර ඇති බැවින් තෙල්මේ නර්තනය කෙටි වී ඇත. නමුත් පිනුම් ගැසීම යාග අංගයක් නොවන අතර ප්‍රේක‍ෂක විනෝදාස්වාදය සඳහා කාලානුරූපව එකතු කර ගත් නර්තන අංගයකි .

පිදේනි දීම (මැදියම)

තුන්යාමේ දෙන පිදේනිවලින් මධ්‍යම රාත්‍රියේදී පිදේනි දෙන්නේ සන්නි කුරුම්බරටය. පෙරයම දී මෙන්ම මෙහිදී ද තටුවලට පිදේනි ලබාදෙන අතර මහයාමේ පිදවිල්ල ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. මෙම යාමයේ යකුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා වැඩියෙන් වෙතැයි සැලකෙන අතර සන්නියකුන් දහඅට දෙනාට පිදවිලි දීම සිදුකරයි. පන්දමක් අතින් ගත් එක් නර්තකයකු හා එක් බෙරවාදකයකු පමණක් සහභාගි වන අතර පෙර යම පිදේනි දීමේ මෙන් නර්තනය සඳහා වැඩි වේලාවක් වැය නොකරයි.

වාහල

ගම්මඩුවෙහි පුද ලබන දැඩිමුණ්ඩ හෙවත් වාහල බණ්ඩාර දෙවියන් පිණිස පවත්වන නර්තනාංගයක් වන මෙය යක‍ෂයන්ට සෙන්පති තනතුර දරන මෙම දෙවියන්ගේ දිෂ්ටිය ආවේෂ කරගෙන ඇදුරෙකු විසින් මෙම නර්තනය සිදු කරනු ලබයි. වාහල දෙවියන්ගේ ඇඳුමට සමාන ඇඳුමකින් සමාරෝපණය වන ඇදුරා පැය 1 1/2 ක් 2 ක් පමණ ත්‍රාසජනක ලෙස නර්තනයෙහි යෙදෙයි. වාහල තොප්පිය නම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළට සමාන තොප්පියක් දමා සුදු, රතු, කළු මිශ්‍ර හැට්ටයක් ද ඊට ගැළපෙන සායක් ද ඇඳ දෙකකුලට ගිගිරි බැඳ දැඩිමුණ්ඩ දෙවියන්ගේ මල් ආසයන ළඟ පුටුවක වාඩි වූ පසු, අනෙක් ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති.

‘බුදුන් තනි කරලා – දෙවියෝ ගියයි හැරලා

දැඩි දෙවිඳු එකලා – මුණ්ඩ, දැඩි යයි නම වදාලා’

‘වාහල’යන නම යෙදුණේ දෙවොල් දෙවියන්ගේ සහ බුදුන්ගේ වාසල මුර කළ බැවිනි. දැඩිමුණ්ඩ යන නම යෙදීම පිළිබඳව ද පුරාවෘත්තයක් ඇත. මුණ්ඩ යන නම මුලදී තිබූ අතර, බුදුන් වහන්සේ හා මාර සේනා යුද්ධය වේලාවේදී අනෙක් දෙවිවරු බුදුන් වහන්සේ හැර ගියත්, මුණ්ඩ බුදුන් වහන්සේ හැර නොගියෙන් දැඩි සිතක් ඇති බව දැක්වීමට ‘දැඩිමුණ්ඩ’ යන නම ලැබුණ බව සඳහන් වේ. මින් පෙනී යන්නේ මෙම යාතුකර්මවල සුජාත බව රැකීමට මිථ්‍යා කථාවන්, පුරාණ බුද්ධ කාලය සමඟ සම්බන්ධ කොට ගොතා ඇති බවයි. සිම්ප්සන්ගේ අර්ථයෙන් දක්වතොත් යාතුකර්ම කොතරම් ස්ථාපිත වී තිබුණ ද ඊට බලය ලැඛෙන්නේ වර්තමාන යාතුකර්මය, පුරාණ බුද්ධකාලීන භාරතයේ යම් සිදුවීමක් හා සම්බන්ධය යන විශ්වාසය මත බව කිව හැකිය (සිම්ප්සන් 2007: 200-04). එනම් යාතුකර්ම යුක්ති යුක්ත කිරීමටත්, දෙවියන්ගේ නිර්ව්‍යාජත්වය පෙන්වීමටත් මෙවැනි මිථ්‍යාවන් ගොඩනැගෙන බව කිව හැකිය.

මුළු දෙවොල් මඩුවේම වේගවත්ම නර්තනය වන මෙයට අඛණ්ඩව භේරි වාදනය සපයයි. භේරි වාදනය නැවතුණහොත් ආරූඪ වූ ඇදුරාට හානියක් වෙතැයි සෙසු ඇදුරෝ විශ්වාස කරති. පුටුව මත වාඩි වී නර්තනයට සැරසෙන ශිල්පියාට, දුම්මල මතුරා අඟුරු කබලකට දමා එම දුම ශරීරයට හා මුහුණට අල්ලත්ම දැඩිමුණ්ඩ ප්‍රලය මතු වී වේගවත් ලෙස පත්තිනි තොරණ අභියසට යයි. එතැන් සිට සියලූ මල් යහන්වලට වඳිමින් නැටුම් දක්වන අතර වරින් වර මල් යහන්වලට පනියි. තවද වරින් වර ඔහුගේ අතට හත්පද (කොතලය, අඟුරු දුම්මල කබල, මුගුර, පොල් මල, හක් ගෙඩිය, කලහ හා පන්දම්) ලබාදෙන අතර පොල් මල අතට දුන් පසු එය කැඩී විසිරී යන තෙක්ම හිසට ගසමින් පාලි දක්වයි. පන්දම හා දුම්මල අතට දුන් පසු මල් යහන්වලට සහ රඟමඩලේ සෑම තැනම දුම්මල ගසමින් රඟමඩල පුරාත්, ඉන් පිටත් දුවයි. ඔහු පසුපස පළපුරුදු ආවතේවකරුවෝ ද දුවන අතර ප්‍රේක‍ෂක ආතුරයෝ ද කෑ ගසමින් හිස් ලු ලු අත දුවති. විස්මය හා භයානක රසය උද්දීපනය කිරීමට මෙම නැටුම සමත් වන අතර අවසානයේ, වාසල යහන අසල ප්‍රලය වූ ඇදුරා සිහිමුර්ඡා වී වැටෙයි . එම අවස්ථාවේ දී අන් ඇදුරන් විසින් අල්ලා ගනු ලබන අතර, කලින් මතුරා ඇති කහදියර කොතලයෙන් පැන් ඉස දෑතේ පන්දම් ඉවත් කර, වාහල තොප්පිය ගලවා ඔහුට සිහි ගන්වන අතර ඉන්පසුව ඔහුට තෑගි ලබාදීම ප්‍රේක‍ෂක ආතුරයෝ කරති. ඉන්පසුව ප්‍රේක‍ෂකයන්ට වාහල දෙවියන්ගේ සෙත් කවි ගායනා කර එම නර්තනය නිමා කරයි.

‘දේවතා බණ්ඩාර දෙවිඳුට කියමි කවි මම වැඳ සමා

පේව ඔබ ගැති කරන වේලේ යහපතක් වෙන්නටා

බෝව කල්පය පවත්නා තෙක් කියමි දන්නා පමණටා

දේවතා දෙවි පිහිට වෙනවයි වරද ඇත්නම් ගැති හටා’

මෙම අවස්ථාවෙන් ගම්මඩුවේ දෙවන භාගය වන වාහල භාගය අවසන් වන අතර ඉක්බිති එළඹෙන්නේ දෙවොල් භාගයයි.

අඹ විදමන

කවි ගායනා කරමින් මෙතෙක් දැක්වූ නර්තනාංගයන්ට වඩා වෙනස් වූ නාට්‍යාකාරයෙන් රඟ දක්වන මෙම අංගය තුළ, දකුණු ඉන්දියාවේ පඬි රජුගේ උයනේ හටගත් අරුම පුදුම අඹ ගෙඩියක් විද, බිම හෙළීම විදහා දැක්වෙන සේ අඹ විදමන සකස් කර ඇත. ශක්‍රයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණ අඹ ගෙඩිය විදීමේ සිද්ධිය පාදක කරගත් මෙම අවස්ථාවේ, කෝලම් නර්තන සම්ප්‍රදායයේ එන අණබෙර කෝලමේ මුහුණ භාවිතයට ගනී. එහි මහලූ වේශයක් දැක්වෙන අතර, ගම්මඩුව ශාන්තිකර්මය සඳහා වෙනත් ශාන්තිකර්මයන්හි ලත් ආභාසය ද ඉන් නිරූපණය වේ. මහල්ලා බෙර වාදකයින් සමඟ දීර්ඝ සංවාදයක යෙදෙන අතර දෙපැත්ත කැපෙන්නා වූ ද, අසභ්‍ය වූ ද වදනින් තත්කාලීන රූපවාහිනී වෙළඳ දැන්වීම්වල වදන්වලින් ද එය සමන්විත වෙයි. ප්‍රේක‍ෂකයාගේ මනසට ඉතා පහසුවෙන් සමීප විය හැකි ආකාරයෙන් පෙළ ගස්සවා ඇති මේවා මගින් හාස්‍යය උත්පාදනය කරයි. එනම් මෙම ශාන්තිකර්ම අතීතය ප්‍රතිනිර්මාණය කරනවා පමණක් නොව, වර්තමානය ද යාතුකර්මයට සමීප කර රෝග නිවාරණ කාර්යයක යෙදෙන බව පැහැදිලි වේ. මෙම නර්තනාංගය අවසානයේ පත්තිනි දේවියගේ අඹෙන් වූ උපත සඳහන් කර පත්තිනි දේවියගේ ආශීර්වාදය ප්‍රේක‍ෂක ආතුරයන්ට ලබා දෙති.

‘අහස් ගැබේ වැඩවූ සබේ එරන් අඹේ පිළිසිඳ තෙද පැමිණ

අඹ විදමන

දහස් සබේ මැද එ සුබේ පාපු ලොවේ පඬියා නෙත මකමින

යසස් ඔබේ ගුණ නිළඹේ සිරුරු ගැබේ පණ ගෙන්නූ විගසින

දෑත් ගොබේ දොස නොතිබේ මිනිස් ලබේ තෙද අනුහස් වැයෙන’

පිදීම (අලූයම)

ගිනි කුරුම්බරට පිදේනි දීම මෙම අවස්ථාවේදී සිදුකරයි. පෙරයම, මධ්‍යමදී මෙන් අලූයම ද මෙය සිදුකරයි. ගිනි කුරුම්බර යනු දෙවොල් සත් කට්ටුවේ එක් කුමාරයෙකු වන අතර, ඔහුගේ කුරාලය ශුද්ධ වූ ගම්මඩු භූමියේ පිටත ඉදිකරයි. මේ සඳහා ද වැඩි කාලයක් ගත නොකරන අතර කුරුම්බර කන්නලව් කර ඉන්පසු පිදවිලි ඔප්පු කරයි.

‘නසමි සිතා අසුරා සිත ලොබය කර

රැස් ගිනි කඳ අත එලබා ගති එවර

ලක‍ෂණ විශ්ණු දෙවි රජ මග සිටිය වර

එක් තැනෙකින් එන් තෙද ගිනි කුරුම්බර’

දෙවොල් නැටීම

දෙවොල් දෙවියන් යනු එක් අතකින් පත්තිනි දෙවියන්ගේ සහෝදරයෙකු ද වෙයි. දෙවොල් සාමි, ඉර රැස් සාමි, සඳ රැස් සාමි, ගිනි රැස් සාමි, තෙද රැස් සාමි, බුදු රැස් සාමි හා මහ රැස් සාමි නම් දෙවොල් සත් කට්ටුව වෙති. මොවුන්ගේ සහෝදරිය වූ පද්මිණි කුමරිය කකුසඳ බුදුන්ට අඹයක් පූජා කර වරම් ලැබ පත්තිනි දේවිය ලෙස උපන් අතර, දෙවොල් කුමාරවරු කකුසඳ බුදුන්ට කඨින චීවරයක් පූජා කර දෙවොල් දෙවියන් ලෙස පුද ලබන්නටත් වරයක් ඉල්ලා සිට ඇත. දෙවොල් කුමාරවරු වෙළඳාමේ පැමිණෙන කල්හි නැව කැඩුන නිසා, ලෑලි පිට දින 7 ක් පීනාගෙන එන කල්හි පත්තිනි දෙවියෝ ගිනි කඳු හතක් මවා එයට බාධා කළ අතර, එයට දෙවොල් කුමාරවරු පැන ගිනි සිසිල් කළෙන් ගිනි කුරුම්බර යැයි කියනු ලබන අතර ලංකාවේ ගිනි පෑගීමේ ශාන්තිකර්මය එතැන් සිට ආරම්භ වූවා යැයි විශ්වාස කෙරේ. එමෙන්ම දෙවොල් සාමි ලංකාවේ කාන්තාවක් සමඟ විවාහ වූ බව දක්වමින් එම යාගාංගයට නිර්ව්‍යාජත්වයක් ලබා දෙන අතර, ඊට නීත්‍යානුකූල බවක් ද ලබාදීමට උත්සාහ කරන බවක් පෙනේ.

මෙම නර්තන අංගයේදී නර්තනකයා ගිනි දළු මෙන් දිස්වන ඇඳුමක් ඇඳ සිටින අතර හිසට කාඟුල් තොප්පියක් ද දමා දෙවොල් දෙවියන් මෙන් සමාරෝපණය වී ඇත. බෙර වාදකයා සමඟ ඇතිවන දීර්ඝ සංවාදයකින් පසුව නර්තනයෙහි යෙදී පෙර දින මිල්ල කපාගෙන ආ දැවවලින් ගිනි මැලය සාදා එය සිසිල් කර ආතුර ප්‍රේක‍ෂකයන්ට සෙත් පතා ශාන්ති කර දෙවොල් නර්තනය හමාර කරයි.

‘පතිනි බලේ පාමින් මැවු ගිනිවලට සිසිලස කර දෙවිඳු

පතිනි සමඟ එක යහනේ පුද ගත්තේය දෙවොල් දෙවිඳු

බැතිනි ඔබට වැන්දෙමි මම පින් ඇත ඉසුරු සැපත් සුසැදු

ඉතින් දෙදණ කෙණ්ඩේ දොස නොරඳ රකින් දෙවොල් දෙවිඳු’

(දෙවොල් සිරසපාද)

ගරා යකුම

ආතුර ප්‍රේක‍ෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංගභූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ. කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදුකරයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.

ගරායකුමේ අවස්ථාවකි

‘කැස්බෑවේ සිටන් පිටකොටුවට පැමිණි

බසයක නැගී ගම්බද පිටිසර තරුණි

ඇස් දෙක පල්ලා දුටුවම මට කෙළ ගිලූණි

බස් එක පිටින් උස්සා යන්නට සිතුණි’

මෙම කවි, වර්තමානයට උචිත අයුරින් නිර්මාණය කරගත් ඒවා විනා පාරම්පරික ඒවා නොවේ. ගරායකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලක‍ෂණ ගෙනහැර පායි. එනම් ස්ත්‍රීන්ට ලිංගික ආශාව ඇති කිරීමෙහි සමත් මෙය, ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, ‘ඕලි’ කුලයේ පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. මන්ද ඔවුන් අතර සහෝදර – සහෝදරිය අතර ලිංගික සබඳතා පැවැත්වූ අතර ගරා යකු ද තම නැගණිය වන ගිරිදේවි සමඟ විවාහ පාත්‍ර වී ඇති බැවිනි. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම මගින් ප්‍රේක‍ෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස ශාන්තිකර්මය නිමා කරයි.

ඉන්පසුව කිරි ඉතිරවීමෙන් ගම්වාසී, පළාත්වාසී සියලූ දෙනාටත් ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලූ දෙනාටත් නිරෝගී සුව හා සශ්‍රීකත්වය පතන අතර, දෙවියන්ට පින් දී පින් බෙර වාදනය කර ගම්මඩුව ශාන්තිකර්මය හමාර කරයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: